නිර්වාචික සන්නිවේදනය වාචික සන්නිවේදනය තරමටම

නිර්වාචික සන්නිවේදනය වාචික සන්නිවේදනය තරමටම ප්‍රබලය. විමසන්න.
සන්නිවේදන ක්‍රියාවලියේදී යම් සංදේශයක් ග්‍රාහකගත කිරිම සඳහා මූලික වශයෙන් සන්නිවේදන ආකාර 2 ක් භාවිතා කිරීමේ හැකියාව සන්නිවේදකයා සතුවේ. එම ආකාර දෙක නම්,
1. වාචික සන්නිවේදනය
2. නිර්වාචික සන්නිවේදනය
පළමුව මෙම වාචික හා නිර්වාචික සන්නිවේදනයක් යනු මොනවාදැයි සැකෙවින් සලකා බැලීම වටී. ඒ අනුව වාචික සන්නිවේදන ක්‍රියාවලියේදී සිදුවන්නේ කටහඩ මාධ්‍යය ලෙස යොදා ගනිමින් සංදේශ ග්‍රාහකගත කිරීමයි. නිර්වාචික සන්නිවේදනයේදී වචන භාවිතයකින් තොරව සන්නිවේදකයා සිය සංදේශය ග්‍රාහකගත කරනු ලබයි. අවසනා ප්‍රතිඵලය සමාන වුවද මාධ්‍යය පිළිබඳ සැලකීමේදී එකිනෙකට හාත්පසින්ම සන්නිවේදන ක්‍රියාවලි දෙකේදී සන්නිවේදන මාධ්‍යය වෙනස් බැව් පෙනී යයි. ඉදින් මෙම වෙනස සන්නිවේදන ක්‍රියාවලිය කෙරෙහි කෙසේ නම් බලපාන්නේ දැයි සොයා බලමු.
සන්නිවේදන ක්‍රියාවලිය මානවයාට පමණක් සීමා වූ ක්‍රියාවලියක් බව යමෙක් පවසයි නම් එය මිත්‍යාවකි. මන්ද යත් මිනිසා මෙන්ම අනෙක් සතුන් ද ජීවත් වන්නවුන්ගේ ගණයට වැටේ. එසේ නම් ඔවුහු ද මිනිසා මෙන්ම සිය අවශ්‍යතා සපුරා ගත යුතුවේ. ඒ සඳහා සන්නිවේදනය කළයුතු වේ. සන්නිවේදනය කළයුතු නම් එය මිනිසාට පමණක් සීමා වූවක් නොවන බව පැහැදිලිය. නමුත් අන් සියළු සන්නිවේදන ක්‍රියාවලියේ නිරතවන්නාවූ සතුන් හට මිනිසාට මෙන් කතා කිරීමේ හැකියාවක් නොවන බව අප දනිමු. එසේ නම් ඔවුනට වාචික සන්නිවේදන ක්‍රියාවලියේ නිරතවීම ගැටළුවකි. මේ හේතු කොට ගෙන මිනිසා හැරුණු විට බොහොමයක් අන් සත්වයින් හට සිය පැවැත්ම පිළිබඳ දැඩි ගැටළුවකට මුහුණ දීමට සිදුවනු ඇත. නමුත් එබන්දක් මේවන තෙක් සිදුව නැත. මන්දයත් ඔවුහු සිය සන්නිවේදන ක්‍රියාවලිය කථනය උපයෝගී නොකර ගනිමින් වුවද මනාව දිගින් දිගටම පවත්වාගෙන යන බැවිනි. කථන හැකියාව සහිත මානවයන්ගේ සංඛ්‍යාව සන්නිවේදනය කරනු ලබන අන් සියළු ජීවීන්ගේ සංඛ්‍යාව හා සැලකූ විට අල්පයකි. ඉදින් ලොව තුළ වැඩි පිරිසක් ජීවත් වන්නේ නිර්වාචික සන්නිවේදන ක්‍රියාවලියෙහි නිරත වන්නෝ වෙති. වෙනකක් තබා කථන හැකියාව ඇති මානවයා පවා බොහෝ අවස්ථාවන්හිදී සිය සන්නිවේදන අවශ්‍යතා ඉටුකර ගනු ලබන්නේ නිර්වාචික සන්නිවේදනය මඟිනි. මේ අනුව නිර්වාචික සන්නිවේදනයට ලොව සුවිශේෂි වූ සන්නිවේදන ක්‍රියාමාර්ග අතර මූලික ස්ථානයක් හිමිවන බව පෙනේ.
මිනිසා සිය පැවැත්ම ආරම්භයේදීම සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොදාගනුයේ නිර්වාචික සන්නිවේදනයයි. මුල් අවධියේදී මේ සඳහා ඔහු තමා සතු චාලක හැකියාවන්, අක්ෂි චලනයන් වැනි දේ උපයෝගී කර ගනී. මීට අමතරව මානවයා ඉහත සඳහන් කළ පරිදි කථන හැකියාව ලබාගැනීමෙන් අනතුරුව ද බොහෝ විට නිර්වාචික සන්නිවේදන ක්‍රියාවලියේ නියැලේ.
වාචික සන්නිවේදනය සැලකීමේදී එය පුද්ගලයා ආශ්‍රිතව පමණක් පවත්නා සන්නිවේදනයකි. නමුත් නිර්වාචික සන්නිවේදනය පුද්ගලයා ආශ්‍රිතව පරිසරය ආශ්‍රිතව ද පවතින ක්‍රියාවලියකි. මිනිසා නිරන්තරයෙන් පරිසරය හා බැඳී ජීවත් වේ. ඔහු පෝෂණය වන්නේ ඔහු අවට පවත්නා වූ පරිසරය තුලිනි. මේ හේතු කොට ගෙන ඔහුට පරිසරය හා සමඟ සන්නිවේදනයෙහි නියැලීමට සිදුවේ. ඒ සඳහා වැදගත් වනුයේ නිර්වාචික සන්නිවේදනයයි.
අප ජීවත් වන සමාජයෙහි වෙසෙන සියළු පුද්ගලයන් එක හා සමාන නොවෙති. ඔවුහු ජාති, ආගම්, පංති, කුල ආදී වශයෙන් විවිධ ලක්ෂණ මත පදනම් ව විවිධත්වයක් පෙන්නුම් කරයි. සිරිත් විරිත්, ඇදුම් පැලදුම්, භාෂාව බෙහෙවින් එකිනෙකාගෙන් වෙනස් වේ. මෙසේ වී යැයි මානවයාට සමාජය තුළ හුදෙකලාව ජීවත් විය නොහැකිය. ඔහු සමාජ සම්බන්ධතා ගොඩනඟා සන්නිවේදන ක්‍රියාවලියෙහි නිරතවීම අත්‍යාවශ්‍ය වන බැවිනි. සමාජ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට නම් සමාජය හා සන්නිවේදන ක්‍රියාවලියෙහි නිරතවීම අත්‍යාවශ්‍ය වේ. නමුත් ඉහත ආකාරයෙන් ඔවුන් විවිධාකාර නම් හා සම්බන්ධව කටයුතු කිරීමේදී ගැටළු පැන නැඟේ. සන්නිවේදන බාධාවන් මතුවේ. වාචික සන්නිවේදනය සිදුකරන්නේ නම් භාෂාව සන්නිවේදන බාධාවක් බවට පත්වී සන්නිවේදන ක්‍රියාවලිය අඩාල කරයි. නමුදු මෙම තත්ත්වය පාලනය කර සන්නිවේදන ක්‍රියාවලිය සිදුකිරීමේ හැකියාව නිර්වාචික සන්නිවේදනය අනුගමනය මඟින් ලබාගත හැක. මෙහිදී තමා සතු භාෂණ හැකියාව නොවටනා බව වැටහී යයි. නමුදු මිනිසා සිය ජීව ක්‍රියා සිදුකරන්නාවූ අනුපිළිවෙලෙහි පොදු සමානාත්මතාවයක් පවතී. නිර්වාචික සන්නිවේදනය මානවයාගේ ජීව විද්‍යාත්මක උරුමයකි. එබැවින් එය සමස්ථ ලෝකයටම පොදු වීම ඉහත සඳහන් කළ පොදු සමානතාවයට හේතුවේ.
භාෂාව මඟින් ඇති වන්නාවූ සන්නිවේදන බාදකය මඟහරවා ගනිමින් ඉහත සඳහන් කරන ලද සමාජය තුළ සමාජ සබඳතා ගොඩනඟා ගැනීමට ඔහු නිර්වාචික සන්නිවේදන රටාව උපයෝගී කරගනී. එමඟින් ඔහුට සමාජය තුළ ගණුදෙනු කිරීමේ හැකියාව ලැබේ. මේ අනුව අපට පෙනී යන්නේ වාචික සන්නිවේදන ක්‍රියාවලිය බහුලවම සිදුවන්නේ මානව සමාජය තුළම වුවද, නිර්වාචික සන්නිවේදනය ද වාචික සන්නිවේදනය තරමටම ප්‍රබල ස්ථානයක් ගන්නා බවයි. එමෙන්ම මානවයකු වුවද සෑම මිනිසෙකුටම කථන හැකියාව උරුමව නොමැති බැව් අප දනිමු. ඇතැම්හු කථන හැකියාව නැත්තටම නැති පුද්ගලයින් වන අතර තවත් පිරිසක් කථන ආබාධ සහිත වේ. මේ හේතු කොට ගෙන ඔවුනට වාචික සන්නිවේදනයේ නියැලීමේ අවස්ථාව අහිමි වේ. වාචික සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථකව සිදුකිරීම සඳහා කථන හැකියාව පමණක් ප්‍රමාණවත් නොවන අතර එහිදී ග්‍රාහකයා ශ්‍රවණ ආබාධ රහිත පුද්ගලයෙකු වීමද අවශ්‍ය වේ. එසේ නොවුණහොත් සන්නිවේදන ක්‍රියාවලිය ඵලදායක නොවේ. මේ හේතු කොට ගෙන ශරීර ආබාධ පවා වාචික සන්නිවේදන ක්‍රියාවලිය සිදුකිරීමේදී සන්නිවේදන බාධක බවට පත්විය හැකිය.
නමුත් නිර්වාචික සන්නිවේදනය සිදුකිරීමේදී එබඳු සන්නිවේදන බාධාවකට මුහුණ පෑමට සිදුනොවේ. මන්ද යත් නිර්වාචික සන්නිවේදනය සඳහා වචන හැරුණු කල අන් ඕනෑම මාධ්‍යයක් භාවිතා කළ හැකි බැවිනි. මේ අනුව නිර්වාචික සන්නිවේදනය වඩාත් ප්‍රබල, ව්‍යාප්ත සන්නිවේදන රටාවක් බව පැහැදිලි වේ. එය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් බැවින් ඕනෑම පුද්ගලයෙකුට යම්කිසි මාධ්‍යයක් තුළින් දෙනු ලබන සංදේශය ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව ද ඉහළ වේ.
වාචික සන්නිවේදනයේදී මාධ්‍යය ලෙස කතාව සැලකෙන අතර නිර්වාචික සන්නිවේදනයේදී ශරීර ස්පර්ශය, අවධානය, හිස සැලීම, අක්ෂි චලනය, සමීපතාව, පෙනී සිටීම, භාෂා ව්‍යුක්තිය වැනි මාධ්‍යය පුද්ගලයා සම්බන්ධ නිර්වාචික සන්නිවේදනය සඳහාත් ලාංඡන නියාමනය, සන්නි දර්ශනය, හැඟීම් ප්‍රදර්ශනය වැනි මාධ්‍යය එහි සමාජය හා සම්බන්ධ අවස්ථාවේදීත් මාධ්‍යය ලෙස යොදා ගනී. වචන භාවිතයෙන් සංදේශයක් ග්‍රාහකගත කිරීමේදී එය දිගින් දිගටම පවත්වාගෙන යා නොහැක. එය වචන අවසන් වූ සැනින් අවසන් වේ. නමුත් නිර්වාචික සන්නිවේදන රටාවක් තුළ එය එසේ නොවේ. සංදේශය දිගුකාලීනව පවත්වා ගෙන යා හැකි අතර එය කිසිවිට වෙනස් නොවේ. මෙය බොහෝ දුරට දක්නට ලැබෙන්නේ සමාජය හා සම්බන්ධ නිර්වාචික සන්නිවේදනයේ මාධ්‍යය ලෙස ලාංඡන යොදා ගැනීමේදී වේ. එහිදී සිදුවන්නේ ලාංඡනය ප්‍රදර්ශනය කර තැබීම පමණි. සියළුදෙනාට එමඟින් අදාළ සංදේශය ලැබේ. නමුත් වාචික සන්නිවේදනයේදී නම් අදාළ සංදේශය එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට ලබාදීමෙන් පසුව ඊළඟ කණ්ඩායම සඳහා නැවත එය වචනයෙන් ප්‍රකාශ කළයුතු වේ. මෙහිදී සන්නිවේදකයා අපහසුතාවයට ලක්වේ. එමෙන්ම ඒ සඳහා නිරන්තරයෙන්ම සන්නිවේදකයා අවදියෙන් සිටීම අවශ්‍ය වේ. ලාංඡනය භාවිතයෙන් සිදුකෙරෙන නිර්වාචික සන්නිවේදනයේදී සන්නිවේදකයා එසේ නිරන්තර අවධානයෙන් සිටීම අත්‍යාවශ්‍ය නොවේ. මේ නිසාම නිර්වාචික සන්නිවේදනය වඩාත් ස්ථාවර ස්වභාවයක් පෙන්වයි.
වාචික සන්නිවේදනයේදී චලනය වනුයේ කටහඩයි. නමුත් නිර්වාචික සන්නිවේදනයේදී ඇඳුම් පැලඳුම්, අක්ෂි චලන වෙනයම් ඉරියව් වෙනස් කිරීමත් චලනය වේ. පළමු අවස්ථාවේදී කටහඩ භාවිතයෙන් සංදේශය කියැවීමෙන් අනතුරුව ග්‍රාහකගත කිරීම අවශ්‍ය වේ. නමුත් නිර්වාචික සන්නිවේදනයේදී සංදේශය චලනයම වේ. මේ නිසා එය ග්‍රාහකයාට වඩා ඉක්මනින් අවබෝධ කරගත හැකිවේ. මෙහිදී වචන භාවිතයෙන් සංදේශය ග්‍රාහකගත කිරීමේදී දිගු වේලාවක සංදේශය කියැවීමට සිදුවේ. මේ සඳහා ගතවන කාලයත් සමඟ සංදේශය ග්‍රාහකයාගේ මනසට ඇතුළු වන ප්‍රමාණය අවම වේ. අවබෝධ කරගැනීමට ගතවන කාලය වැඩි වන අතර සංදේශය සම්පූර්ණයෙන්ම ග්‍රාහකගත වීම ද සැක සහිතය. නමුත් නිර්වාචික සන්නිවේදනයේදී කාලයක් ගතකර සංදේශය ලබාදීම අවශ්‍ය නොවන අතර එය සංඥා, සංකේත ඔස්සේ සමස්ථ සංදේශයම එකවර ග්‍රාහකගත වීම සිදුවේ. මේ අනුව නිර්වාචික සන්නිවේදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම බැව් පෙනී යයි.
වාචික සන්නිවේදනයේදී අදාළ සංදේශය පාලනය කිරිමේ හැකියාව ග්‍රාහකයා මෙන්ම සන්නිවේදකයාට අවශ්‍ය නම් සන්නිවේදනය අතරමඟදී වුවද නවතා දැමීම මඟින් එය පාලනය කළහැකි වනවා මෙන්ම ග්‍රාහකයාට ද අවශ්‍ය පරිදි පාලනය කළහැකි නොවේ. එය ගොඩනැඟෙනුයේ ජීව විද්‍යාත්මක උරුමයක් හේතු කොට ගෙන බැවින් අපට අවශ්‍ය පරිදි පාලනය කරගතත නොහේ. ක්ෂණික බියක් ඇතිවූ විටක කෑගැසීම මේ සඳහා උදාහරණයක් වේ. අපට අවශ්‍ය වුවද මෙම ක්‍රියාව ක්ෂණිකව ඉබේ සිදුවන හෙයින් එය පාලනය කරගත නොහැකි වේ. මේ හේතු කොට ගෙන එහි ප්‍රබලතාව ඉහළ නැංචී ඇති බව පෙනේ. එය විටෙක වාසිදායක මෙන්ම තවත් විටෙක අවාසිදායක තත්ත්වයක් ද වනු පෙනේ. මන්ද යත් වාචික සන්නිවේදනයේදී දොරටුපාලක ක්‍රියාවලිය සිදුවීමට අවකාශ ඇති බැවින් සන්නිවේදකයාට තමාට අවශ්‍ය පරිදි සංදේශය ග්‍රාහකගත කිරීම නොහැකි වේ. මන්දයත් විටෙක සන්නිවේදකයා ද තවත් මාධ්‍යය ද ඇතැම් විටෙක ග්‍රාහක රුචිකත්වය ද දොරටුපාලක ක්‍රියාවලිය සිදුකිරීමයි. එවන් තත්ත්වයක් යටතේ ග්‍රාහකයාට නිවැරදිම වූ තොරතුරු ලබාගත නොහැකි වේ. නමුත් නිර්වාචික සන්නිවේදනයේදී දොරටුපාලන ක්‍රියාවලිය සිදුවීමට ඇති අවකාශය බෙහෙවින්ම අඩුවේ. මේ හේතුවෙන් සංදේශය සම්පුර්ණයෙන්ම නිවැරදි ආකාරය ග්‍රාහකගත වීමත් නිර්වාචික සන්නිවේදන ක්‍රියාවලිය තුළ දක්නට ලැබේ.
මීට අමතරව වාචික සන්නිවේදන ක්‍රියාවලිය සිදුකිරීමේදී භාෂාව හැසිරවීම පිළිබඳව නීති රීති අනුගමනයට මෙන්ම වචන කිසියම් පිළිගත් රටාවකට අනුව හැසිරවීම සිදුවේ. මේ හේතු කොට ගෙන සන්නිවේදකයා ග්‍රාහකගත කිරීමට බලාපොරොත්තු වන සංදේශයෙහි ප්‍රබලතාව අඩුවීම මෙන්ම එහි අර්ථය පැහැදිලිව ප්‍රකාශ කිරීමට නොහැකි වීම සිදුවේ. මේනිසා සන්නිවේදන ක්‍රියාවලිය සන්නිවේදකයා අපේක්ෂා කරන මට්ටමින් සිදුවන්නේ ද යන්න සැක සහිත වේ. නමුත් නිර්වාචික සන්නිවේදනයේදී සංදේශයට අනුව සන්නිවේදකයාගේ සෑම ඉරියව්වක්ම වෙනස් වීමට ලක්වන අතර අදාළ සංදේශය ඔහුගේ ශරීරය පුරාවෙහිම නිරීක්ෂණය කළහැකි වේ. ඒ අනුව ග්‍රාහකයා සංදේශය ඉතා නිවැරදිව හා ක්ෂණිකව ග්‍රාහක කරගත හැකිවේ. උදාහරණයක් ලෙස පුද්ගලයෙකු සිය තරහව ප්‍රකාශ කරන අවස්ථාව සැලකිය හැක. වාචික සන්නිවේදන ක්‍රියාවලිය ඔස්සේ මෙම සංදේශය ග්‍රාහකයාට ලබාදීමේදී අවට පරිසරය පිළිබඳවත්, සමාජ තත්ත්වය පිළිබඳවත් අවධානය යොමුකර තෝරා බේරාගත් වචන සමූහයක් පමණක් භාවිතයෙන් එය ග්‍රාහකගත කිරීමට සිදුවේ. මෙහිදී ඇතැම් විට ග්‍රාහකයාට සන්නිවේදකයා තරහින් සිටින්නේ ද, සාමාන්‍ය තත්ත්වයක පසුවන්නේ ද යන්න පවා හඳුනාගත නොහැකි වේ. නමුත් නිර්වාචික සන්නිවේදනයේ නිරත වන පුද්ගලයාට සිය අක්ෂි චලනය උපයෝගී කරගැනීමෙන් පමණක් වුවද අදාළ සංදේශය ග්‍රාහකගත කිරීම සිදුකල හැකිවේ. එක්වරම ග්‍රාහකයාට ද අදාළ සංදේශය අවබෝධ කරගත හැකිවේ. මේ හේතුවෙන් නිර්වාචික සන්නිවේදන ක්‍රියාවලිය වඩාත් ප්‍රබල තත්ත්වයක පවතින බැව් කිව හැකිය.
නිර්වාචික සන්නිවේදනයේදී සන්නිවේදනය සඳහා විශේෂිත වූ රටාවක් නොපවතින බැවින් සන්නිවේදකයාට සිය රුචිකත්වය පරිදි මාධ්‍යය හසුරුවා ගැනීමට හැකියාව ලැබේ. එහිදී සන්නිවේදකයා පූර්ණ වශයෙන් නිදහස් පුද්ගලයෙකු වේ. එය ඔහු තුළ සිය සන්නිවේදන ක්‍රියාවලිය වඩාත් නිර්මාණශීලි අයුරින් සිදුකිරීමේ හැකියාව ලැබේ. එහෙත් වාචික සන්නිවේදනයේ නිරත වන පුද්ගලයාට එම අවස්ථාව අහිමි වී යයි. මන්ද යත් ඔහුට කිසියම් ව්‍යුහයකට අනුව සිය සන්නිවේදන ක්‍රියාවලිය සිදුකිරීමට සිදුවන බැවිනි. ඒ අනුව අදාළ ව්‍යුහය මත හිඳිමින් වාචික සන්නිවේදන ක්‍රියාවලිය සිදුකළ යුතුය. එය හේතු කොට ගෙන වාචික සන්නිවේදනයේදී සංදේශය කෙරෙහි ග්‍රාහකයා තුළ පවත්නා රුචිකත්වය අඩුවීම පවා සිදුවිය හැකිය. මන්ද යත් මානවයා නිරන්තරයෙන් විවිධත්වය අපේක්ෂා කරන්නෙකු වන බැවිනි.
වාචික සන්නිවේදනයට වඩා නිර්වාචික සන්නිවේදනය පුද්ගලාන්තර සන්නිවේදනයේදී පුළුල් මෙහෙයක් සිදුකරනු ලබයි. පුද්ගලාන්තර සන්නිවේදනය මඟින් සන්නිවේදකයාටත් ග්‍රාහකයාටත් යන දෙපාර්ශ්වයටම වැදගත් වූ සන්නිවේදන ක්‍රියාවලියක් සිදුවේ. මෙහිදී බොහෝ විට භාවිතා වනුයේ නිර්වාචික සන්නිවේදනයයි. වචන දහස් ගණනක් භාවිත කිරීමෙන් සන්නිවේදනය කළයුතු සංදේශය ඉතා සුළු ඉරියව්වකින් හෝ සංඥාවකින් නිර්වාචික සන්නිවේදනය ඔස්සේ ග්‍රාහකගත කිරීමේ හැකියාව ලැබේ. පුද්ගලාන්තර සන්නිවේදනයේදී සිදුවන නිර්වාචික සන්නිවේදනය සඳහා ස්පර්ශය, සමීපතාව, නැඹුරුව, හිස සැලීම හා අක්ෂි චලනය යන චලනයන් බහුල වශයෙන් උපයෝගී කරගනු ලැබීම දක්නට පුළුවන. මීට අමතරව භාෂා වියුක්තිය ද භාවිතා වන්නාවූ චලනයකි. මෙහිදී නිර්වාචික සන්නිවේදනය තුළින් වඩාත් අර්ථකාරී ලෙස පුද්ගලාන්තර සන්නිවේදනය සිදුකිරීමේ හැකියාව ලැබේ.
යම් පුද්ගලයෙකු තමාට ඇසෙන දෙයට වැඩියෙන් තමා දකින දෙය කෙරෙහි අවධානය යොමු කරයි. එමෙන්ම තමා දකින දෙය වඩා ඉක්මනින් ග්‍රහණය කර ගැනීමේ හා අවබෝධ කර ගැනීමේ හැකියාව මානවයා සතු වේ. මේ හේතුවෙන් නිර්වාචික සන්නිවේදනය භාවිතා කිරීම වඩා අර්ථවත් වීම සිදුවේ.
පුද්ගලයෙකුට තමාගේ හැඟීම් වාචිකව මෙන්ම නිර්වාචිකව ද සන්නිවේදනය කිරීමේ හැකියාව පවතී. නමුදු වදන් හැසිරවීමේ දී සිය හැඟීම් අදාළ ග්‍රාහකයාට අමතරව අන් අයට ද ග්‍රහණය කිරීමේ හැකියාව ලැබේ. එවන් සිදුවීම් ඇතැම් විට සමාජය තුළ ඔහු හෝ ඇයගේ පැවැත්මට හානිකර විය හැක. හැඟීම් යනු තමා සතු පෞද්ගලිකත්වයකි. පුද්ගලයා සිය පෞද්ගලිකත්වය හුවමාරු කරගනුයේ ඉතා සීමාසහිත වූත් විශ්වාසදායක වූත් හිතවත් ග්‍රාහකයකු සමඟ පමණි. මෙහිදී අදාළ ග්‍රාහකයා සන්නිවේදකයා තේරුම් ගැනීමේ අවබෝධ කර ගැනීමේ හැකියාවෙන් සමන්විත වේ. මේ හේතුවෙන් ඔවුනතර වාචික සන්නිවේදනය ඉටුකිරීම අවශ්‍ය නොවන අතර සිය අදහස් නිර්වාචික සන්නිවේදනය තුළින් වඩාත් පහසු හා කාර්යක්ෂම අන්දමින් ග්‍රාහකගත කර ගැනීමේ හැකියාවන් පවතී. මේ අනුව මානවයා තුළ වාචික සන්නිවේදනයට මෙන්ම නිර්වාචික සන්නිවේදනයට ද ප්‍රබල රුචිකත්වයක් පවතී. මෙහිදී සිය පෞද්ගලිකත්වය රහස්‍යභාවය වැනි කරුණු එළිදරව් වීම වැලැක්වීම සඳහා නිර්වාචික සන්නිවේදනය ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ.
සන්නිවේදක ක්‍රියාවලියේ නිරත වන සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර පරතරය අනුව ද භාවිතා කරනු ලබන සන්නිවේදන ක්‍රියාවලිය විවිධ විය හැකිය. සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර දුර ප්‍රමාණය වැඩි නම් සන්නිවේදන මෙවලම් භාවිතයකින් තොරව වාචික සන්නිවේදන ක්‍රියාවලියෙහි නිරත විය නොහැකි වේ. එහෙත් මෙහිදී වාචික සන්නිවේදනය භාවිතා නොකොට නිර්වාචික සන්නිවේදනය භාවිතයෙන් අදාළ සංදේශය ග්‍රාහකගත කිරීමේ හැකියාව ලැබේ.
උදාහරණයක් වශයෙන් දුම්රියක රියදුරෙකු හට ඉදිරියෙහි පවත්නා අනතුරුදායක තත්ත්වයක් වචන භාවිතයෙන් පැවසිය නොහැක. ඒ සඳහා රතු පැහැති කොඩියක් වැනීම සිදුකරනු ලබයි. එමඟින් ග්‍රාහකයා ඉදිරියෙහි ඇති අනතුර පිළිබඳව අවබෝධය ලබාගනී. එමෙන්ම බස් මඟියෙකු සිය අවශ්‍යතාවය මත බස් රථයක් නවත්වා ගැනීම සඳහා අත ඇල්ලීම හෝ සීනුව නාද කිරීම මඟින් සිය අවශ්‍යතාවය ග්‍රාහකයාට සන්නිවේදනය කරනු ලබයි. මේ සෑම අවස්ථාවකදීම සිදුවන්නේ නිර්වාචිකව සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලියකි. ඒ අනුව සන්නිවේදන ක්‍රියාවලිය හා සම්බන්ධ වන පුද්ගලයින් අතර පරතරය අනුව සන්නිවේදන මෙවලම් භාවිතය සිදුනොවන අවස්ථාවකදී වඩාත් ඵලදායක වනුයේ නිර්වාචික සන්නිවේදන ක්‍රියාවලියයි.
ඉහත අවස්ථාවන් පිළිබඳව තවදුරටත් විමසා බැලීමේදී නිර්වාචික සන්නිවේදනයේ සංඥා හා සංකේතයන් සමඟ සමීපවීමත් ඒවායේ අර්ථයන් පිළිබඳව දැනුමක් සහිත වීමත් හේතුවෙන් සංඥාව දුටු විගස සංදේශය අවබෝධ කරගැනීමේ හැකියාවෙන් යුතු වන බැවිනි. මේ හේතු කොට ගෙන සංදේශය නිවැරදි ආකාරයෙන් ග්‍රාහකගත වන බවට විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබේ. මෙසේ නිර්වාචික සන්නිවේදනය සඳහා උපයෝගී කරගනු ලබන අවස්ථා සමාජය තුළ බහුල වේ. මාර්ග සංඥාවක් ඒ සඳහා උදාහරණ වශයෙන් දැක්විය හැකිවේ.
මීට අමතරව පුද්ගලයා වාචික සන්නිවේදනය හා නිර්වාචික සන්නිවේදනය යන දෙකම භාවිතා කරමින් සන්නිවේදනය කරන අවස්ථාවන් ද පවතී. මෙහිදී ඔහු Body Language සිය නිර්වාචික සන්නිවේදනයේ චලනය සඳහා භාවිතා කරන අතර එමඟින් තම වාචික සන්නිවේදන ක්‍රියාවලිය තවදුරටත් පැහැදිලි කිරීම සිදුකරනු ලබයි. එමඟින් වාචික සන්නිවේදන ක්‍රියාවලිය තුළින් පැහැදිලි කිරීමට අපොහොසත් වූ දේ හා පැහැදිලි කරන ලද මුත් තේරුම් ගත නොහැකි වූ දේ පිළිබඳව ග්‍රාහකයා තුළ අවබෝධය ඇති කරවීම අපේක්ෂා කෙරේ. මේ අනුව පෙනී යන්නේ වාචික සන්නිවේදන ක්‍රියාවලියේ නිරත වන පුද්ගලයා සිය අදහස් නිවැරදි බව තහවුරු කිරීම සඳහා අත මිට මෙලවීම වැනි චලනයන් බොහෝ විට දක්වනු ලබන අතර එමඟින් ග්‍රාහකයා තුළ තමා පිළිබඳව විශ්වාසයක් ගොඩනැඟීමට බලාපොරොත්තු වේ. එනම් වාචික සන්නිවේදනය හා සමාන්තරව ඔහු නිර්වාචික සන්නිවේදනය ද ක්‍රියාවට නංවයි.
ඕනෑම සන්නිවේදන ක්‍රියාවලියක ප්‍රතිචාරය යන්න සන්නිවේදකයාට මෙන්ම ග්‍රාහකයාට ද එකසේ වැදගත් වේ. මෙම ප්‍රතිචාරය දැක්වීම මඟින් ද නැවත සිදුවන්නේ සන්නිවේදන ක්‍රියාවක් ම වේ. මෙහිදී බොහෝ විට ප්‍රතිචාර දැක්වීමට යොදා ගනුයේ නිර්වාචික සන්නිවේදන ක්‍රියාවලියයි. එමඟින් සන්නිවේදකයාට ග්‍රාහකයාගේ රුචි අරුචිකම් තම සංදේශයේ දුබලතා හඳුනා ඒවා නිවැරදි කර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම ග්‍රාහකයාට තමා ලද සංදේශය තවදුරටත් අර්ථකාරී කර ගැනීමටත් තම රුචිකත්වය සන්නිවේදකයාට දැක්වීමටත් නිර්වාචික සන්නිවේදනය උපකාරී වේ. මීට අමතරව සන්නිවේදකයා සිය ඇඳුම, ඉරියව් ආධාරයෙන් වාචික සන්නිවේදනයේ නිරත වන අතරතුරදී ම නිර්වාචිකව සන්නිවේදනයේ යෙදෙමින් තමාව සමාජයට හඳුන්වා දීමක් සිදුකරනු ලබයි. මේ අනුව නිර්වාචික සන්නිවේදනය හා බැඳි පවතින ඒ තරමටම වැදගත් වූ සන්නිවේදන ක්‍රියාවලියක් බව පෙනේ.
අවධානය යොමු කිරීමේදී පෙනී යන කරුණක් වනුයේ වාචික සන්නිවේදනය තුළදී නිර්වාචික සන්නිවේදනය ද බහුල ලෙස උපයෝගී වන බවයි. මහාචාර්ය ඇල්බට් මෙහෙරාබියන් පවසන අන්දමට පුද්ගලයෙකු සතුව පවත්නා සන්නිවේදන රටාව තුළ 55% ක් මුහුණේ ඉරියව් මඟින් ප්‍රකාශ කරන අතර 38% කථා කරන ස්වරූපය තුළින් ද පෙන්නුම් කරන අතර වචනයක් තුළින් නිරූපණය වන්නේ 7% ක පමණ ප්‍රමාණයක් බවයි. මෙයින් අපට පෙනී 93% ක් ම වාචික සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය පවතින බවයි.


Comments